දිවුරුම් මධ්‍යස්ථාන - කොරතොට අංගම්පොර සම්ප්‍රදාය

ශ්‍රී ලාකාවේ අතීතයේ සටන් පරම්පරා කිහිපයක් පැවති අතර මේ වන විට ඒවා බහෝ දුරට අභාවයට ගොස් ඇති බවද නොරහසකි. ඉතිහා‍සයේ පටන් අප සටන් පරම්පරාව හැඳින්වූයේ කොරතොට ආරච්චි පරපුර ලෙස ය. අප සටන් කලාව කඩුවෙල කොරතොට ග්‍රාමය කේන්ද්‍ර කරගෙන ජීවත් වූ ප්‍රභල සටන් පරපුරකි.

අප සම්ප්‍රදායේ ප්‍රධාන දිව්රුම් මධ්‍යස්ථාන

දිව්රුම් මධ්‍යස්ථාන ලෙස අප සම්ප්‍රදාය විසින් හඳුනාගනු ලබන්නේ සටන් ශිල්පීන් දිව්රුම් දීම හා විවිධ අවස්ථාවල ඉටුකරනු ලබන සිරිත් විරිත් හා ප්‍රකාරයන් සමුදායන් සමඟ පුරාණ කාලයේ සිට සබැඳි ‍ඓතිහාසික ස්ථානයන් ය. මේවායෙන් බොහෝමයක් කොරතොට ග්‍රමාය හා තදාසන්න ප්‍රදේශවල පිහිටා ඇති අතර සටන් ශිල්පයේ ඉදිරියට යන සටන් කරුවන්ගේ ප්‍රධාන සිරිත් විරිත් හා දිව්රුම් සමුදාය සමඟ ප්‍රතිබද්ධව වසර දහස් ගණනක් තිස්සේ සටන් ශිල්පීන්ගේ ගෞරවාදරයට පත්ව ඇති සු‍විශේෂී පූජනීය ස්ථානයන් ය.

කොරතොට රජමහා විහාරය

කොරතොට රජමහා විහාරය

කොරතොට අංගක්කරුවන්ගේ තිඹිරිගෙය ලෙස සැලකෙන මෙම ඓතිහාසික සිද්ධස්ථානය මේ රටේ දුර්ළභ වටිනාකමකින් යුත් පූජනීය ස්ථානයකි. කොළඹ නගරයට වඩාත්ම ආසන්නයෙන් ක්‍රි.පූ. යුගයට අයත් සෙල්ලිපි හමුවන එකම ස්ථානය ‍වශයෙන් පුරාවිද්‍යාත්මක වටිකමක් උසුලන මෙම ඉපැරණි විහාරය ප්‍රාග් ‍ඓතිහාසික යුගයේ සිටම සටන් කලාවට ප්‍රසිද්ධ විය.

ඉපැරණි යක්ෂ ගොත්‍රිකයින්ගේ සටන් පුහුණුව, රාවණා යුද්ධයේදී සටන් පුහුණුව, වලගම්බා රජු සටන් පුහුණු වීම, සීතාවක රාජසිංහයන්ගේ සටන් මධ්‍යස්ථානය, ලෙව්කේ දිසාව සමඟ සටන් කිරීමට උදව්වට ගිය පිරිස සටන් පුහුණුවීම ආදී ඓතිහාසික සිදුවීම් රාශියකට කේන්ද්‍රස්ථානය වූයේ කොරතොට රජමහා විහාරයයි.

සිංහල බෞද්ධ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් සැමදාමත් පෙනී සිටි මෙම යෝධ සිද්ධස්ථානය 1915 මුස්ලිම් කෝලාහල හමුවේ පෙරහැරේ ගිය බෞද්ධ ජනතාවට සිදුවූ තාඩන පීඩනවලින් ආරක්ෂා වීමට සුවිශේෂී මෝල්ගස් පෙරහැර නිර්මාණය කෙරුණේද මෙම සිද්ධස්ථානයේ කොරතොට සෝභිත හිමියන් විසිනි.

කොරතොට රජමහා විහාර සෙල්ලිපිය
විහාර කන්ද
කටාරම් කෙටූ විහාරගෙය
පුරාණ පත්තිනි දේවාලය


කොරතොට පත්තිනි දේවාලය

කොරතොට පත්තිනි දේවාලය
කොරතොට පත්තිනි දේවාලය

අතීතයේ සිටම කොරතොට අංගං සටන් ශිල්පීන් විසින් පත්තිනි මෑණියන්ට භාර වන ස්ථානය වන මෙම කොරතොට පත්තිනි දේවාලය සපුමල් කුමාරයා පෘතුගීසීන් කිහිප දෙනෙක් සමඟ සටන් කළ ස්ථානය ලෙස ඉතිහාස ගත වී ඇත.

අදටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වසා දමන ලද සෙල් ටැඹක් (පැරණි අක්ෂර සහිත ගල් ටැඹක්) මෙම ස්ථානයේ ඇති අතර එහි මෙම ස්ථානය පිළිබඳව ඉතිහාස කරුණු රාශියක් ඇති බවට විශ්වාස කෙරේ. එසේම ටිකිරි කුමාරයා නොහොත් පළමුවන රාජසිංහයන් විසින් මෙම දේවාලයට ලබා දෙන ලද සන්නසක් අදටත් දේවාලය සතුව ඇත.

රන් කඩු පත්තිනි දේවාලය

රන් කඩු පත්තිනි දේවාලය
කඩුව සැඟවූ ඓතිහාසික මසන් ගස

1562 දී මුල්ලේරියා යුද ජයග්‍රහණයට පෙරාතුව තමන් මෙම යුද්ධය ජයග්‍රහණය කළහොත් කඩුවෙල බලකොටු පවතින මෙම ස්ථානයේ පත්තිනි දේවාලයක් කරවා තම රන් කස්තාන කඩුව පූජා කරන බවට වූ යුධ පොරොන්දුව ඉටු කරනු වස් එම යුද්ධය අවසන සීතාවක රාජසිංහ රජු තම රන් අසිපත පුදා කඩුවෙල රන්කඩු පත්තිනි දෙවොල තනවා ඇත. මුල්ලේරියා සටන ජයග්‍රහණයට සවිශේෂී දායකත්වයක් ලබා දුන් කොරතොට ආරච්චි අංගං පරපුරට මෙම දෙවොල ආරක්ෂා කිරීම පැවැරුණු අතර ඔවුන් විසින් මුල්ලේරියා යුද ජයග්‍රහණය සැමරීම වාර්ෂිකව කරගෙන එයි.

මෙම දේවාලය ඉදිරිපිට අදටත් රාජසිංහ රජු තමන්ගේ යුධ කස්ථානය සැඟවූ ඓතිහාසික මසන් ගස දක්නට ලැබෙන අතර රජු විසින් පූජා කරන ලද රන් අසිපත හා වෙනත් බොහෝමයක් සන්නස් ආදිය මෙම දේවාලය තුළ අදටත් දක්නට ඇත. කඩුවෙල ඓතිහාසික බලකොටුවේ පෞඩත්වය අදටත් ජීවමාන වන මෙම ස්ථානය කොරතොට අංගක්කරුවන්ගේ ගෞරවාදරයට පාත්‍ර වෙමින් වසර සිය ගණනක් පවත්වාගෙන එන සිරිත් විරිත් රාශියකට මුල් වේ.


ඇඹුල්ගම රජමහා විහාරය

ඇඹුල්ගම රජමහා විහාරය

මහා පරාක්‍රමබාහු, වලගම්බා, විජයබාහු, රාජසිංහ ආදී ශ්‍රේෂ්ට නරපතියන්ගේ සටන් මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන මෙම ඓතිහාසික සිද්ධස්ථානය පත්තිනි මෑණියන් විසින් තම දරුවන්ට සටන් පුහුණු කරන ලද ස්ථානය ලෙස සටන් කරුවන්ගේ ගෞරවාදරයට පාත්‍ර වන්නකි. අදටත් කොරතොට විහාරය හා මෙම ඇඹුල්ගම විහාරය යන ස්ථාන යා කරන උමඟක් දක්නට ලැබේ.

දැනට ලංකාවේ ඉදිවී ඇති උසම හිටිපිළිම වහන්සේ දක්නට ලැබෙන්නේ මෙම විහාරස්ථානයේය.කඳු ගැටයක් මත පිහිටා ඇති නිසා අවට පරිසරය අලංකාරව මෙම විහාරස්ථානයේ සිට බැලූ විට දර්ශනය වේ.කඳු මුදුණට යත්ම භාවනා යෝගීන්ගේ කුටිද ඉපැරණි ගල්ගුහාද දක්නට ලැබේ.


සුප්‍රසිද්ධ හිටි පිළිමය
අඩක් නිම කරන ලද පිළිම
අඩක් නිමකළ පිළිමයක්
අඩක් නිමකළ හිඳි පිළිමයක්

නවගමුව පත්තිනි දේවාලය

නවගමුව පත්තිනි දේවාලය

කොරතොට ගමේ එක් සීමවක් වන නවගමුව දේවාලය ගජබාහු රජුගේ කාලය දක්වා ඉතිහාසයකට උරුමකම් කියයි. ගජබාහු රජු විසින් ඉන්දියාවට එරෙහිව යුධ කොට පත්තිනි හළඹ රැගෙන විත් නීලමහා යෝධයා සමඟ පැමිණ නවගමුව දේවාලය නිමකල බව කියවේ.

ලංකාවේ පත්තිනි මෑණියන් ඇදහීමේදී ප්‍රධානතම ස්ථානය ලෙස සැලකෙන මෙය රාජසිංහ යුගයේදී බොහෝ දියුණු මට්ටමට ප්‍රතිසංස්කරණය කළ බව කියවේ. තොරතොට අතපත්තු ආරච්චි විසින් නවගමුව දේවාලය ඉදිරිපස ඇති වලව්වේ සිටිමින් නවගමුව ආරක්ෂා කරයි. පොල් වර්ග 9ක්, හාල් වර්ග 9ක්, ගෙන ගොස් පත්තිනි මෑණියන්ට කරන විශේෂ පූජාවක් ඇතුළු පුද පූජා රාශියක් කොරතොට අංගක්කරුවන් විසින් මෙම පූජනීය ස්ථානය තුළ සිදු කරනු ලැබේ.


කැළණිය රජමහා විහාරය

කැළණිය රජමහා විහාරය

‍බුද්ධ පාදස්පර්ෂය ලත් ස්ථානයක් ලෙස අංගක්කරුවන්ගේ ගෞරවාදයට පත් වන මෙම ස්ථානය ස්වාභාවික සෞන්දර්යයෙන් ‍ශෝභමාන වූ බැවින් කළ්‍යණ හෙවත් කැළණි‍ය යැයි ප්‍රකට වන්නට ඇතැයි විශ්වාස කෙරේ. බුදුරජාණන්වහන්සේ නාගදීපාගමනයෙන් තෙවසක‍ට පසුව මණිඅක්ඛිත නාරජුගේ ආරාධනයෙන් කැළණියට වැඩි සේක. දැනට චෛත්‍යය ඇති ස්ථානයෙහි රුවන් පළඟක වැඩ හිඳ 500 ක් සංඝ‍යා වහන්සේලා සමඟ දන් වැළදු බව කියවේ.


කොරතොට ගමේ අප්‍රකට මහසෙන් හා කාලි ගල්ලෙන් දේවාල

කොරතොට අංගම් ශිල්පීන්
අතීතයේ දිවුරුම් දුන්
පුරාණ මහසෙන් දේවාලය

පුරා‍ණ යක්ෂ ගෝත්‍රික යුගයේ සිටම අප මුතුන් මිත්තන් විසින් කතරගම මහසෙන් නොහොත් මහසෙන් දෙවියන් ඇදහීමට හා රාවණා යුගයට පසුව එතුමන්ගේ කාන්තා බලකායේ නායිකාව වූ කාලි මෑණියන් දේවත්වයෙන් ඇදහීමට භාවිතා වුණ රහසිගත දේවාල සංකීර්ණයක් වන මෙම පෞරාණික ස්ථානය අදටත් රහසිගතව පවතී.

මෑත ඉතිහාසයේදී ටිකිරි කුමරු නොහොත් රාජසිංහයන් සටන් පුහුණුවට දිවුරුම් දුන් ස්ථානය ලෙසට ද ගෞරාවදරයට පත් වන ස්ථානයකි.


කොරතොට අංගක්කරුවන් විසින් දළදා වහන්සේ සුරැකි ස්ථානය

දළදා වහන්සේ සුරැකි ස්ථානය

‍කෝට්ටේ රාජධානිය තුළ ආරක්ෂාව මද බැවින් "කෝට්ටේ කලාලේ කිසිල්ලේ දත මැද ගන් රාළේ" යයි දිය වඩන නිලමේ හට හීනෙන් කරනු ලබන ප්‍රකාශය නිසා රට මැදට දළදා වහන්සේ ගෙන යාමේ අවශ්‍යතාවය මත එම ගමනේ එක් සන්ධිස්ථානයක් වූයේ කොරතොට ග්‍රාමයයි. මෙම රහසිගත ස්ථානයේ තබා පුද පූජා කොට දෙවනුව ඇඹුල්ගම රජමහා විහාරයටත්, එතනින් මානියම්ගමට යවා ඉන් පසුව දළදා වහන්සේ දෙල්ගමට ගෙනයයි. එසේවූ ඉතිහාසයකට උරුමකම් කියම මෙම ස්ථානය කොරතොට අංගක්කරුවන් විසින් අදටත් පූජනීයත්වයෙන් සලකයි.


දැරණියගල සමන් දේවාලය

දැරණියගම සමන් දේවාලය

මායාදුන්නේ රජුගේ මාලිගාවක් තිබුණ ස්ථානයක් වන මෙය රාජසිංහ රජුගේ සටන් පුහුණු වූ භූමියක් ලෙස සැලකේ. අදටත් අප ශිල්පීන් විෆශ්ෂ පුහුණුවීම් සිදු කරනු ලබන ස්ථාන වලින් එකකි. මෙවැනි රහසිගත පුහුණුවීම් කරනු ලබන ස්ථාන රාශියක් ඇති අතර සටන් පුහුණුවේ ඉදිරියට යන සටන් කරුවන්ට මෙවන් ස්ථාන ඒ ඒ අවස්ථාවන්වලදී දක්වනු ලැබේ. මෙම ශ්‍රීපාද පද්මය පිහිටි සමනොල කඳු මුදුන කේන්ද්‍ර කොට ගනිමින් ප්‍රධාන සමන් දේවාල සතරක් විද්‍යාමාන වේ. එනම්,රත්නපුර මහ සමන් දේවාලය, බොල්තුඹේ සමන් දේවාලය, මහියංගනයේ සමන් දේවාලය හා දැරණියගල සමන් දේවාලයයි.