කොරතොට අංගම්පොර සම්ප්‍රදායේ ඉතිහාසය

ශ්‍රී ලාකාවේ අතීතයේ සටන් පරම්පරා කිහිපයක් පැවති අතර මේ වන විට ඒවා බහෝ දුරට අභාවයට ගොස් ඇති බවද නොරහසකි. ඉතිහා‍සයේ පටන් අප සටන් පරම්පරාව හැඳින්වූයේ කොරතොට ආරච්චි පරපුර ලෙස ය. අප සටන් කලාව කඩුවෙල කොරතොට ග්‍රාමය කේන්ද්‍ර කරගෙන ජීවත් වූ ප්‍රභල සටන් පරපුරකි.

අංගම්පොර සම්ප්‍රදායේ ඉතිහාසය

කොරතොට පිහිටා ඇති කඩුවක
සලකුණක් කොටා ඇති ගල

ඈත අතීතයේ සිට පැවත එන මෙම අංගම් පොර ශිල්පය අයත්වනුයේ ලංකාවේ විසූ ආදිතම යක්‍ෂ ගෝත්‍රිකයන්ටය. ඈත අතීතය වසර 30,000 කට කිට්‌ටු කාලයක සිට ගෝස්‌සර නම්වූ ශාක පොතු වර්ගයක ලියන ලද වර්ග පූර්ණිකාව හා පංචරක්‌ඛාවලිය නම්වූ ඉපැරණි ග්‍රන්ථ වලින් දැක්‌වෙන මෙකී සටන් කලාව එවකට විසූ ඉසිවරුන් 9 දෙනකු විසින් ඇරඹීයෑයි සැලකේ. අදින් වසර 30000කට එපිට මේ ලක් දෙරණේ ඉපිද සුරාසුර යුද්ධය මෙහෙයවමින් තමන් උගත් සිංහල හටන් ශිල්‍පයේ ප්‍රභලත්වය විදහා පෑ කතරගම මහසෙන් නම් රණ ශූරයාගේ යක්ෂ පෙළපතින් ඇරඹෙන අංගම් සටන් පුරාවත පසුකාලීන මහා රාවන නම් රණ ශූරයා දියුණුවෙන් දියුණුවට පත් කරන ලදුව සිංහල ‍‍‍‍‍බෞද්ධ සමාජයට හිමිකර දීමේ මහා කර්තව්‍ය අරඹයි. පසුකාලීනව අංගං (හෝ අංගම්) නමින් හඳුන්වා ගන්නා මේ විශිෂ්ට සටන් සම්ප්‍රදාය සිංහල රාජාවලියේ රාජරාජ මහාමාත්‍යාදීන් අපූරුවට උගෙන ප්‍රගුන කරමින් රට ජාතිය ආගම රැකගනු වස් එය පරම්පරාවෙන් පරම්පරාවට ලබා දීමේ මහඟු කාර්යයට උරදෙයි.

ප්‍රාග් ඓතිහාසික යුගය

ලංකා ඉතිහාසය වූ කලී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යුධ ඉතිහාසයක් බව පැහැදිලි ය. ඒ බව සාහිත්‍යාත්මක හා පුරාවිද්‍යාත්මක සාක්ෂි අධ්‍යනය කිරීමෙන් පෙනී යයි. මහා සම්මත මනු යුගය තෙක් රාජාවලියක් ඇති මේ රටේ රාජ්‍යත්වය ආරම්භ වන්නේ මින් වසර 40000කට පෙරාතුව යුගයකදී බව ඉතිහාසඥයින්ගේ මතයයි. අරාජිකව පැවති මේ රටේ රාජ්‍යත්මවක් ඇති කිරීමට අදහස් කළ දේව මණ්ඩලය විසින් "සාදික් අංගං සොන්දෙත්තා..." ආදී වශයෙන් වූ යක්ෂ ගෝත්‍රික භාෂාවෙන් ලංකාවේ සතර දික් භාගයේ දවුල භාවිතා කරමින් යැවූ අඬ බෙරයට සවන් දුන් සටන් කාමීන් අතුරෙන් මනු නම් පුද්ගලයෙකු රුහුණෙන් පැමිණ මන්නාරමේදී හරඹ පා රාජ්‍යත්වයට පත් වූ බවත් ඒ නිසාම මනු+ආ+අරම = මන්නාරම වූ බවත් සඳහන් වේ. එවක මෙම විරුවන්ට සටන් කිරීමට ක්‍රමවත් හා දියුණු සටන් ක්‍රමයක් තිබූ බව මනු රජ විසින් එක් ටැම් උණ ගසක සිට අනෙක් සටන් කරුවන් 14 දෙනෙක් විසින් විදින ලද ඊතල තමන් සිටගෙන සිටින උණ ගස වටා නෙලුම් මලක හැඩයට කැපී ‍වැටෙන සේ කඩු හරඹ දැක්වූ බව කියවීමෙන් පැහැදිලි වේ. කඩු හෙල්ල ආදීආයුධ සකස් කිරීමට අදාල තාක්ෂණික දැනුම අප මුතුන් මිත්තන් සතු වූ බවත් එවන් ආයුධ ක්‍රමානුකූලව අධ්‍යනය කොට සතුරන් මැඩීමට තරම් ප්‍රභල සටන් ක්‍රමක් පැවති බවත් පැහැදිලි වේ. බලි, තරු, රාවණ ආදී ශ්‍රේෂ්ට නරපතියන්ගේ පහස ලත් මෙම සටන් ක්‍රමය එදා ලක්දිව කාලයෙන් කාලයට විවිධ නම් භාවිතා වූ බවත් අද වන විට අංගං යන නාමය බවට එය පත් වී ඇති බවත් පැහැදිලි වේ.


රාවණ යුගය

රාම රාවණා යුද්ධය ගැන කියැවෙන රිදී විහාර සිතුවමක්

බෞද්ධ ආගමික ආභාෂය කාශ්‍යප බුදුන් වැඩසිටි රාවන යුගයේදී අංගම්පොර ශිල්පයට එකතුවී ඇති බවට සැලකේ. මෙම ශිල්පයේ පුරෝගාමියා ලෙස සැලකිය හැකි ස්‌කන්ධ කුමරුන්ගේ මහසෙන් නම්වූ සෙන්පතියාගෙන් අනතුරුව එවකට දිවයින පුරාම පැතිරී ගිය ශිල්පයක්‌ වන අතර අනතුරුව වැඩ විසූ මහා පුලතිසි, අගස්‌ති, නාරද හා කපිල යන ඉසිවරුන් මෙයට පුනර්ජීවයක්‌ දීමට කටයුතු කළේ ය. මෙයිනුත් රාවණා රජුගේ ඥාති අගස්‌ති සෘෂිවරයා මගින් රාවණයෝ මෙකී සකල කලා අඩංගු අංගම් ශිල්පය මනාසේ ප්‍රගුණ කළහ. ඒ බවට සාධක එමට ඇත. රාවණ රජුගේ පුත් ඉන්ද්‍රජිත්ගෙන් පසුව ඉන්ද්‍රජිත්ගේ පුතනුවන් දෙදෙනෙකු වූ කේවේසස්ථ හා රවිශෛලාංත මෙම සටන් ශිල්පය පරතෙරටම ප‍්‍රගුණ කළ අය වන අතර රවීංශෛලාංත පරම්පරාවෙන් කොරතොට ආරච්චි පරම්පරාව පැවත එයි. කෙසේ වෙතත් කොරතොට ආශ්‍රිතව ඇති වඳුරුම්මුල්ල නම් ග්‍රාමයේ ග්‍රාම නාමය සකස් වීමේ පුරාවෘත්තිය මෙයට ඇති එක් සාක්ෂියකි. රාම රාවණා යුද්ධයේදී වදුරන් ගල් කුලකට කොටු කර යුද්ධ කරන ලද ස්ථානය වඳුමරුම්මුල්ලයි. මේ අතර රාවණා විරුවාණන් අදටත් ඇදහීමේ සිරිත් විරිත් සමුදායක් අප පරම්පරාව සතුව අදටත් පවතියි.


විජයාමනයෙන් පසු යුගය

ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට යුධයට
නැකැත් බැලූ පෑ තැටි ගල

මෙසේ ශත වර්ෂ ගණනාවක්‌ හෙලදිව අසහාය රණශූරයන් බිහිකළ මෙම අංගම් ශිල්පය විජයාගමනයෙන් හා කුවේණිගේ සමයේ සිදුවූ කුමන්ත්‍රණයෙන් අනතුරුව සී. සී. කඩව විසිර ගිය යක්‍ෂ, රාක්‍ෂ හා නාග ගෝත්‍රිකයන් විසින් පරම්පරාගතව රැකගත් නමුත් එකල පැවති ඉන්දීය ආක්‍රමණිකයන්ගේ අමානුෂික සමූලඝාතන වලදී නෂ්ඨාවශේෂ බවට පත් විය. එහෙත් සීතාවක, හේවාගම් කෝරළය තුළ කොරතොට රජමහා විහාරය කේන්ද්‍රකොට ගෙන මෙම සටන් ශිල්පය රහසිගතව පවත්වාගෙන යැමට ඉතිරි වූ ගෝත්‍රික නායකයන් සමත් වූ බව එහි ඉතිහාසයෙන් කියෑවේ. මේ බව සනාථ කරන සෙල්ලිපි කොරතොට කන්ද ආශ්‍රිතව හමුවී ඇත. පරුමුක නම් යක්ෂ ගෝත්‍රික නායකයන් ගැන කියවෙන මෙම සෙල්ලිපිය පරීක්ෂාවට ලක්කළ පුරාවිද්‍යාඥයින් පවසන්නේ විහාරමහා දේවියගේ අධීක්ෂණයෙන් වේලු සුමන විසින් සටන් පුහුණු කරන ලද සටන් පාසලක් මෙම ග්‍රාමය ආශ්‍රිතව තිබූ බවයි. පරුමුක සුමන යනුවෙන් මෙම සෙල්ලිපියේ සඳහන් වන්නේ වේලුසුමන පිළිබඳයි. එසේම එහි සඳහන් වන මහඹි කුමරිය යනු විහාරමහා දේවිය බවත් පිළිගැණේ.

මේ පිළිබඳව තවදුරටත් සොයා බැලීමේදී ස්ටීවන් තුකෝරළ නම් කතුවරයාගේ "දශක හතක් ලෙයින් නැහැවුණු මුල්ලේරියාව" නම් පොතේ මෙම කරුණු පැහැදිලිව දක්වා ඇත. මෙයට අමතරව "ශිලා ලේඛන සංග්‍රහය" නම් පොතේ දී කොරතොට සෙල්ලිපිය ක්‍රි.පූ. යුගයට අයත් බව සඳහන් වේ.


සීතාවක යුගය

රත්නපුර සමන් දේවාලයේ ඇති
සටන් කැටයමක්

බලගතු ගෝවා පගන්දාර හේවා පන්නින්නේ
කලයුතු ගෙත්නා බල දෙවමින්නේ
සැරයුතු කොරතොට ආරච්චිවරුන්නේ
කෙලයුතු පෙන්නා නෙක සිරි දුන්නේ

කුරුප්පු මැති සඳ යුදටසරන්ඩු
ආරක්කු වඩවා ලන්සෙන් මන්දූ
උරුක්කු කර කර හරඹෙන් ඔන්ඩු
මුරුක්කු කර ඇර රුපුහට කේඩූ

කොරතොට නැති පවර
සැරවර කමින් ගරුතර
සපර රට පුවතර
ලැබීයන්නට යෙදී අවසර

සපර පුරය ලැබ සිටි මැති ගරුසර
කොරතොට කුරුපුපු නම් ලත් පුවතර
තරකොට ලන්සය ගනිමින් තම වෙර
වෙරකොට ඇත්තේ රුපු කද සිදු කර

සොදුරු ලෙසින් කරවන තද දෛ බල
සිදුරු නොදී රුපු අරවමි ඔද කල
රුදුරු අතුරුගිරි කෝරල සහ බල
සොදුරු එමහසෙන් නේනා නිමකල

කොරතොට නම්ලත් කුරුපුපු මැතිසෙන
තරකොට කස්තානය සුරතට ගෙන
බලකොට රුපුමැද පනිමින් නොල සින
සැරකොට කපමින් රුපු ඔද හරිමින

සදමින් මෙලෙස හේවා පන්නේ
වඩිමින් රජසිහ දෙවි නොලසින්නේ
එබැවින් හේවාගමට වඩින්නේ
නොලසින් රුපුසෙන් සැරසී ඉන්නේ

(සීතාවක හටන - පුස්කොල පොත)

රාසින් නිරිඳු වැඩලා රණ කෙලි තොටට
ඉලංගමට හේවාකම් දුන් කලට
පස්ස පොරොත්තුව පැනලා කොටන්නට
කොරතොට ආරච්චිල ගියෙ පෙරමුණට

(පැරණි ජන කවියක්)

සීතාවක මායාදුන්නේ රජු යනු පෟතුගීසීන්ට එරෙහිව පළමු වෙඩි මුරය තැබූ සිංහල ජන නායකයා වන අතර 1562 මුල්ලේරියා සටන ඇවිලෙන කොට ලංකාවේ පාලන කටයුතු සිදුකළේ සීතාවක රාජසිංහ රජතුමා නම් වූ එතුමාගේ පුතනුවන් ය. ටිකිරි කුමාරයා නොහොත් පළමුවන රාජසිංහ රජ්ජුරුවන් ලෙසත් මෙතුමන්ව හඳුනා ගන්නවා. මේ සටනෙදි සීතාවක රාජසිංහ රජතුමාගේ සේනාධිපතියා විදිහට කටයුතු කළේ වික්‍රමසිංහ මුදලිතුමා නම් සටන් කරුවා ය. මුදලිතුමා මේ සටනෙදි තුවාල වු අතර ඊට පසු රාජසිංහ රජතුමා මුදලිතුමාගේ මඟ පෙන්වීම යටතේ සටනට අවශ්‍ය උදව් බලාපොරොත්තුවෙන් පැමිණ ඇත්තේ කොරතොට රජමහා විහාරයට ය. මේ වෙනවිට කොරතොට රජමහා විහාරය ආශ්‍රය කරගෙන අප සටන් පරපුරේ ආරච්චිවරුන් 18 දෙනෙකු ඉඳලා සිටියේ ය. මේ අයගෙන් බොහෝ දෙනෙකු අංගම් ශිල්පයේ පරතෙරට ගිය අය වූ අතර මදුරප්පෙරුම ආරච්චි, කුරුප්පු ආරච්චි, පලිහේන ආරච්චි, මහන්ත ආරච්චි යන පරම්පරාවන් පමණක් අදටත් ඉතිරිවී සිටියි. අප පරම්පරාව අයත් වන්නේ මහන්ත ආරච්චි පරම්පරාව. මහන්ත යනුවෙන් එදා ව්‍යවහාර වී ඇත්තේ ප්‍රධානියා යන්නට යි. මහන්තාරච්චි පරම්පරාව යනු කොරතොට ආරච්චිවරුන්ගේ ප්‍රධානියා බව පත්තිරු 60කින් යුත් "කොරතොට වත" නම් පුස්කොල ග්‍රන්ථයේ 21 වෙනි පත්තිරුව තුළ ඇති පහත සඳහනින් ඒ බව සනාථ වේ.

"පස්ස පොරොත්තුවේ ගෝවා පගන්දාරහේවා නම් පෙරමුණට හීතාවක පටරෙදි කොඩිය හා රීදී කස්තානය අතින් ගත් කො‍රතො ඉම මහන්තේ ආරච්චිල තෙන්නැහැ දෙවනුව රදී පටිස්තානය හා පලිස අතින් ගත් කොරතොඩ කුරුප්පු ආරච්චිල ද රණ දක්ෂ පලිහෙන ආරච්චිලද අතුරුගිරි දෙබාග කෝරලේ දුණු පලිස් වඩන්නෝද අස් මඩලේ ආරච්චිල ද පල්ලේ පත්තුවේ රණවක ආරච්චිල ද හෝකන්දර පන්න කාරයෝ ද රනාලේ පනික්කි ආරච්චිල ද...."

කඩු සේදූ කඩුවක්කලම

යුද්ධයකට අවශ්‍ය අංගම් සටන් පුරුදු පුහුණු කිරීම් පැවරුණේ අපේ පරම්පරාවයි. "කොරතොට විහාරය ආසන්නයේ තිබුණු තැනිතලා භූමියක අංගම් මඩු තුනක් පිහිටලා තිබු බවත් කඩුවෙල රක්ගහවත්ත, හෝකන්දර, අතුරුගිරිය, හංවැල්ල, රණාල, දැඩිගමුව කියන ප්‍රදේශවලින් බොහෝම හැඩිදැඩි තරුණයෝ ගෙන්වා අංගම් පුහුණුව උගන්වා ඇත. පෘතුගීසි හමුදාවට එක්වුණ සිංහලයිනුත් එදා අපේ රටට විරුද්ධව සටන් කර ඇති අතර ඒ අය පැමිණ ඇත්තේ අලි ඇතුන් පිට ය. නමුත් අපට ඒ ඇත් හමුදාවට විරුද්ධව සටන් කරන්න උගන්නපු මුල්ලේගම කියලා රණශූරයෙක් සිට ඇත. ඔහුගේ සටන් ක්‍රමය වූයේ එක් සටන් කරුවෙක් දුව ගොස් අලියා ඉදිරිපස දණින් පාත් වු පසු දුවගෙන එන අනෙක් කෙනා පහත්වු කෙනාගේ පිටට නැග අලියාගේ කුම්බස්තලයට වැලමිටෙන් පහර දී මරා දැමීමයි. මෙවන් රණශූරයන් නිසාවෙන් මුල්ලේරියා සටන පෘතුගිසින්ගෙන් අපි ජය ගත්තෙමු.

සිංහලයේ විශිෂ්ටතම රණ ශූරයන් හා ගැටුණු ලොව දරුණුතම වර්ගයේ ආක්‍රමණිකයින් එක් දහස් හය සියයක් එකම ස්ථානයකදී පරාජය කරමින් මුල්ලේරියා වෙල ලෙයින් නැහැවූ එය යුද යජග්‍රහණය රාජවලියෙහි ඉතා පැහැදිලිව පහත පරිදි දැක්වේ.

"වික‍්‍රමසිංහ මුදලින් - බිඳී ගිය සැටි රාජසිංහ රජු දැකලා වම - දකුණු පලිහක්කාරයන් හා දෙබාගේ ඇතුන් හා කොරතොට ආරච්චිවරුන් ළඟට කැඳවා හෝකන්දර රදා - දොළහ හේවායින් ගෙන්වා ඉලංගම්වල පලිහක්කාරයන් දහසකුත් දී පස්ස පොරොත්තුවට පැන කොටන් ද ඇරලා රාජසිංහ පෙරමුණ ඉස්සර පාරෙන් ගොසින් මුල්ලේරියා වෙල මැද හිටිනා කළ ප‍්‍රතිකාල් සේනාවට යුද්ධයට පැන්නාහ. පස්ස පොරොත්තුවෙන් ගිය හමුදාවක් ඇවිත් පැනලා යුද්ධ කරන විට ජයසුන්දර බාගෙන් වීර හස්ති කියන ඇතා කොඩියක් ගතීය. විජේසුන්දර බාගෙන් ඓරාවණයා කියන ඇතා පළිසකුත් දම්වැලකුත් ගතීය. රාජසිංහ රජු අසු පිටට නැගී මහා සේනාව පස්සට වෙන්ඩ නෑර ප‍්‍රතිකාලූන්ගේ මැදට වැදලා පලිසක්කාරයොත් ප‍්‍රතාකානොත් ඇතුන්ගේ වල්ගාවල එල්ලී කෙටුවාහ. තුවක්කුවලින් ගසා ප‍්‍රතිකානෝ පලිසක්කාරයින් මැරුවාහ. රාජසිංහ රජු අසුට නැඟී විහිදුවා සේනාව වට කර දුවමින් රණ යුද ගිනි කෙළි කෙළ කොටන විට දුරුතු මස මිහිදුම් මෙන් වෙඩි දුම් පටලාගෙන සිටින සඳ මුල්ලේරියාවේ වෙල මැද ලේ වතුර කොට ප‍්‍රතිකාල් සේනාවට අඩියක්වත් පස්සට යන්ඩ නෑර කොටා එක්දාස් හසියයක් ප‍්‍රතිකානුන් හා කෝට්ටේ සේනාවගෙන් කීප දෙනෙකුත් පඩත්තලවරුන් කීප දෙනෙකුත් කොටා වැටුණාහ. "

මෙයට අමතරව පෝල් ඊ පීරිස් මහතා ලියූ පෘතුගීසි යුගය නම් ග්‍රන්ථයේ මෙසේ සඳහන් වේ.

"කොරතොටින් පැමිණි ධීර වීර සෙබළු ද, ප්‍රවීණ ඉලංගක්කරුවෝද ඉලංගං සටන් පුහුණු වූ පනික්කි සටන්කරුවෝද මුල්ලේරියාව හා කඩුවෙල අතර විවෘත බිම් තීරයේදී පෘතුගීසීන් වෙත කඩා පැන නිර්දය ලෙස පහර දීමට වූහ. රාජසිංහ තෙමේ ම පෙරමුණේ සිට දැඩි ප්‍රහායක් එල්ල කළ අතර කොරතොට හේවාගම ආරච්චිවරුන් පසුපසින් ප්‍රහාර එල්ල කළේ ය. මහා ලේස ගංගාවෙක් ගලා ගිය අතර දරුණු සංහාරයක් සිදු විය."

කඩුවෙල නම් ලැබීමට හේතු වන
මුල්ලේරියා යුද්ධයේදී
කඩු සැඟවූ වෙල


රාජසිංහ රජතුමන් රන් කස්ථාන
කඩුව පුදා ඉඳිකළ කඩුවෙල
රන් කඩු පත්තිනි දේවාලය

මේ දරුණු සංග‍්‍රාමයෙන් ජයගත් රාජසිංහ රජු කඩුවෙල බලකොටුවේ දේවාලයක් තනවා සිය රන් අසිපත පුජා කළා පමණක් නොව රන්කඩු පත්තිනි දේවාලය ලෙස නම් කළ එය ආරක්ෂා කිරීමට කොරතොටින් යුද්ධයට ගිය අංගං ශිල්පීන්ට බාර කළේය. ඒ වෙනුවෙන් සන්නසක් ලෙස තමා මුල්ලේරියා සංග‍්‍රාමයට භාවිතා කළ යුද කස්තානය කොරතොට සටන් පරපුරට බාර දුන්නේය. රාජසිංහ රජුගේ අසිපත කොරතොට සටන් ශිල්පීහු අද දක්වා පණ සේ සුරකිති. යුද්ධයට සහභාගී වු කොරතොට ආරච්චි අංගං පරපුරට හේවාගං කෝරළය ලෙසට ගම්වරයක් ද ප‍්‍රදානය කළ අතර ඒ පිළිබඳ සලකුණු ගල් අද ද දක්නට තිබේ. රන්කඩු පත්තිනි දේවාලය රැුකීම වෙනුවෙන් යුද්ධයට භාවිතා කළ කඩු වෙලක් මැද ගොඩ ගසා පැන් ඉස ස්ත්‍රෝත‍්‍ර ගයා රජුගේ නියමයට එකඟ වීමට පුජාව පැවැත් වු ස්ථාන කඩුවෙල ලෙස නම් ලද බවද කියැවේ. දේවාලය තනවා රාජසිංහ රජු වැඳුම් පිදුම් සඳහා පුජා කළ සත් පත්තිනි රුව රැුගත් පෙතිකඩ ද අදටත් දේවාලයේ සුරක්ෂිතව පවතී. මෙලෙස මෙම ඓතිහාසික සිද්ධි දාමයෙහි සාක්ෂි කඩුවෙල අවටින් ඕනෑතරම් සොයා ගත හැකි වෙයි. මෙයට අමතරව සුවිශේෂී සාහිත්‍යාත්මක සාධක ලෙස පහත උදෟතයන් දැක්විය හැකි ය.

සීතාවක උරුමය  - පිලිප් ගුණවර්ධන
"කඩුවෙල සංකපිට්ටි විහාර දේවාලයේහි අද දක්වා අවුරුදු පතා පවත්වනු ලබන හෙල පෙරහැර මංගල්‍යයේදී කපුරාලගේ වාහල නැටුම රාජසිංහයන්ගේ රණකෙලි සිහිපත් කිරීමට පවත්වනු ලබන්නකි.  කඩුවෙල රක්ගහවත්ත හේවාගම ආදී තැන්වල බලකොටු ගොඩනගා සීතාවක සතුරු මාර්ග අවහිර කළහ. සතුරා එන මග දැනගැනීමට කඩුවෙල කොරතොට බැලුම්ගල මුදුනේ ආරක්ෂක බටයන් යෙදවීය."

පෘතුගීසි යුගය - පෝල් සීරිස්
"මේ අවස්ථාවේදී රාජසිංහ පෞද්ගලිකවම අණදීම භාරගත්තේ ය. ප්‍රවීණ ඉලංක්කරුවෝද ඉලංගම් සටන් පුහුණුවූ පනික්කි සටන් කරුවෝද ඇත් අස හමුදාවලින් ද අතුරුගිරිය කෝරලෙන් සහ කොරතොටින් පැමිණි ධීර වීර සෙබළුන් ද මුල්ලේරියාව හා කඩුවෙල අතර විවෘත බිම් තීරයේදී පෘතුගීසීන් වෙත කඩා පැන නිර්දය ලෙස පහරදීමට වූහ. රාජසිංහ තෙමේම පෙරමුණේ සිට දැඩි ප්‍රහාරයන් එල්ලකර අතර කොරතොට හා ‍හේවාගම ආරච්චිවරුන් පසුපසින් ප්‍රහාර එල්ල කළේ ය. මහා ලේ ගංගාවක් ගලා ගිය අතර දරුණු සතුරු සංහාරයක් සිදුවිය."

"පෘතුගීසි පටයන් 3000ක් ද එපමණක්ම සිංහල බට පිරිසක් ද පෙරමුණ බලා ඇදෙන්නට වූහ, ඔවුනට පළමු අභියෝගයන්ට මුහුණ දීමට සිදුවූයේ මුල්ලේරියාව වැවේ අන්තයෙන් මාර්ගය ගමන් කරන ස්ථානයේදී ය. මෙම ස්ථානයේ ශක්තිමත් බඉලකොටුවක් ඉදිකර තිබූ අතර මුර අට්ටාලද පිහිටුවා තිබුණි. එමෙන්ම කාල තුවක්කු අටවා තබා ආරක්ෂාව ස්ථාවර කර තිබිණ. මේ සියල්ලම තිබුණේ වැව දක්වා දිවෙන උණගස් කැලයක් මැදය. මෙම ස්ථානයෙන් ඉදිරියට යාමේදී දරුණු සටන් ඇවිළුණු අතර දෙපාර්ශවයටම බරපතල ජීවිත හානි සිදුවිය. ඉන්පසු ආක්‍රමණික හමුදාව කඩු දෙවොල (කඩුවෙල) තම ස්ථානයට ලාවූ අතර එම ස්ථානයද දැඩි ලෙස ශක්තිමත් කොට තිබිණ. තෙවැනි සුළු බලමුළු පිහිටි ස්ථානය පිහිටි ස්ථානය වූයේ ගුරුබැවිල (හංවැල්ල)යි."

සීතාවක පුර යුගය-
"පැරණි මායා රට අයත් වූ හේවාගම් කෝරලයේ ආරෝහ පරිනාහ දේහයෙන් හෙබි එඩිතර පුරුෂයන් බිහිවූ තෝතැන්නකි. රාජසිංහ වැනි ශේෂ්ඨ නාරවිරුවෙන් සමග එකතු වී පෘතුගීසීන් විනාශ කළ ජාතික සටනේ වීර සෙබළුන්ගෙන් පැවත එන්නන් හේවගම් කෝරලයේ පැතිරී සිටියහ. හේවා ඉන්න, හේවාගම, කඩුවෙල, ගිරා ඊඹුල, දැඩිගමුව, කොරතොට, රනාල, අතුරුගිරිය යන ගම්මේ වීරෝධාර ඉතිහාසය කැටිකොට දක්වයි. මේ හේවාගම් කෝරලයේ හැම බිම් අගලකම අධිරාජ්‍යවාදී සටනට උරදුන් ජනතාවගේ ස්වාධිපත්‍ය අගය කරමින් ජීවිතය පූජා කළ අප මුතුන් මිත්තන්ගේ ලෙයින් සම් ඇට කඩු කන් ද උඩරටින් දෝදාගෙන ආ සාරවත් පස්තලාවන් යට සැනසිල්ලේ නිදන්ගතව ඇත. එම ඇටකටු සාරවත් පස තවතවත් පෝෂණය කරනු ඇත. "

සිංහල සටන්කරුවන් බටහිර ජාතිකයන් සමග කළ සටන් පිලිබදව සදහන් වන්නේ මෙසේය.

"ඔව්න් ඉක්මනින් වෙහෙසට පත් නොවන සුලු , කඩිසරවූත් ක්‍රියාශිලී වුත් පිරිසකි. ඒ බව ඕලන්දයින් තමන් මහත් අවාසි විදීමෙන්ම ප්‍රත්‍යක්ෂ කර ගත්තකි . ඔවූහු එකිනෙකාගේ හිසට උඩින් පනිමින් මහත් ජවසම්පන්නව කරන ක්‍රියා නැරඹිමට පවා විශ්මය ජනකය .විශ්වාස දායක ලෙස දැනගන්නනට ලැබුණු පරිදි ඔවූහු රණබිමෙහිදී සෙබළුන් තුන්දෙනෙකුගේ හිස්වලටත් ඉහලින් පැන කලින් අදහස් කරගත් සතුරාගේ හිස එකවරම කපා තම සෙන්පතියා වෙත සැනෙන් රැගෙන එති...."

සිංහල ත්‍රාසජනක ක්‍රීඩා: දැරණියගල

"සිංහලයාගේ කඩු හරඹ අන්තිම වතාවට ප්‍රදර්ශනය කරනලද්දේ ඉන්ග්‍රීසින්ට රට අත්වීමෙන් අවුරුදු 5 කට පමණ පසු මහනුවර යුද්ධාංගන වලදීය . කඩුශිල්ප සූරයෙකු වසයෙන් සුපිරිසුදු බිහිරි ගති ඇති ගලගොඩ රටේ මහත්මයාට ද්වන්ද යුද්ධයකට එනලෙස ඉංගීසි කපිතාන් කෙනෙකු විසින් අභියෝගයක් කළ බව කියවේ . පාත හේවාහැටේ හේවාවිස්ස වෙලේදී දෙදෙනා හමුවිය. දියකච්චියක් ඇද කඩුව හා පළිහ ගෙන ගලගොඩ පොර පිටියට ආ අතර ඉංගීසි ජාතිකයා කලිසමක් හා කලිසමකින් සැරසී එහි ආවේය. සටන ඇරඹීමට පෙරාතුව කතිර සිටින සේ ඉරි දෙකක් ඇද ගලගොඩ ඉරිකැපෙන ස්ථානයේ සිට ගත හැකිනම් තමා සිටිතැනින් ඉවත්කරන්නැයි සිය පස මිතුරාට වහසිබස් කියමිනි.ඉංගීසි ජාතිකයාගේ කඩුව විදුලිකොටන්නාක් මෙන් ගලගොඩගේ කඩු තලයත් පලිසත් මත හෙලෙන්නට පටන්ගත් නමුත් ඔහු එතැනින් සොලවන්නට බැරිවිය. නමුත් තමාගේ වාරය පැමිණිවිට 'ඉංග්‍රීසි කරුව රැකවල් ගනුව' යැයි නැවතත් වහසි බැන පහර දෙන්නට පටන්ගත්තේ නොබෝ වේලාවකින් කෝප වූ ඉංග්‍රීසි සෙනෙවි අත ඉතිරීවූයේ තලය සුන් අසිපත් මිට පමනි‍ ....."

ඔප්පු කළ හැකි සාක්ෂි සහිතව අංගං ශාස්ත්‍රය භාවිතා වූ අවස්ථාවක් ලෙස හා අංගං සටනේ ස්වර්ණමය අවස්ථාවක් ලෙස සීතාවක යුගය දැක්විය හැකි වුවද අද පවතින මට්ටමක අංගං ශාස්ත්‍රය විනාශ වීම ආරම්භ වන්නේ ද එම යුගයේ වීම දෛවෝපගත ය. එදා රාජසිංහ රජතුමාගේ මරණින් පසු පෘතුගීසීන් විසින් අප පරම්පරාවල මුතුන් මිත්තන්ට නොයෙකුත් අඩම්තේට්ටම්, කරදර කොට ඇත. එයින් බේරිමට උපක්‍රමයක් ලෙස ඔවුන්ට පක්‍ෂපාත බවක් පෙන්වීමට අප මුතුන් මිත්තන් "පෙරේරා" යන පෘතුගිසි නාමය අප පරම්පරා සාමාජිකයින්ගේ නමේ අගට සම්බන්ධ කර ගෙන ඇත. එනිසා බොහෝමයක් යුරෝපීයයන් අප මුතුන් මිත්තන්ව සැක නොකලෝය. ජීවිත පරිත්‍යාගයෙන් මෙම සටන් ශිල්පය රැකගත් අප මුතුන් මිත්තන් එදා මෙවැනි බුද්ධිමත් ක්‍රියාමාර්ග නොගත්තා නම් අදටත් අප පරම්පරාවෙන් මෙම උතුම් ශාස්ත්‍රය ක්ෂය වන්නට ඉඩ තිබිණ. මේ අයුරින් සිංහලයා‍ගේ සටන් කලාව අධිරාජ්‍යවාදීන් බියගැන්වු නිසාම අංගම් සටන්කරුවන් විනාශකැරන්නට විවිධ උපක්‍රම යොදාඇත. 1818 දී ගැසට් නිවේදනයක් මගින් අංගං සටන් ලංකාව පුරාම තහනම් කිරීමට බිරිතාන්‍යයන් පියවර ගත්තේ ය. එ නිසාම ක්‍රමයෙන් අංගම් පුහුනුව සිංහලයා තුලින් ඈත් වන්නට විය . අංගම් සටන්තුලින් ඇත්වන්නට අකමැති වූ සිංහලයන් වනගතව එය ආරක්ෂාකරගත් අතර මෙනිසා අදටත් එය සුරක්ෂිතව පවතී. අප පරපුරේ අද සිටින ප්‍රවීණයා වන මහන්තා ආරච්චිගේ අජන්ත පෙරේරා ගුරුතුමාණන් පවා මෙය ඉගෙන ගත්තේ ඉතාමත් රහසිගතව තමන්ට අවුරුදු 6ක් වයසේදී සිට තම සීයා ගෙනි.

පරදේශක්කාරයින්ගේ මර්දනය හා රහසිගතභාවය

අංගම්පොර ශිල්පියෙකුගේ හා
නැට්ටුවෙකුගේ සමාන ඉරියව්වක්

ඉංශ්‍රීසින්ගේ මර්දන ක්‍රියාවලිය කෙතරම්ද කියතොත් එහි එක් අවස්ථාවක් ඉතිහාසයේ මෙසේ සදහන් වේ .

අවුරුද්දක් පමණ කාලය තුල පැවති මේ කැරැල්ලෙන් සිදුවූ අලාභ හානි මෙ පමණය කිව නොහැක. සිංහලයෝ 10000 කට වැඩි ගණනක් මිය ගියහ.මියගිය ඉන්ගිරිසි බටයන්ගේ නියමිත ගණනක් ඇතිබවක් නොපෙනෙන නමුත් ලෙඩවි මඩකලපුවට ගෙනගිය 173 ‍දෙනෙකුගෙන් 114 දෙනෙකුම මියගිය බව සදහන් වේ . ඉන්දියාවෙන් ගෙන්වන ලද 7000 ක් බටයෝ කැරැල්ලට සම්බන්ධ වූහ.

ඉංග්‍රීසීන් මෙම ශිල්පය තහනම් කිරීමෙන් පසුව පාරම්පරික ශිල්පයක් ලෙස ඉතාමත් රහසිගතව පවත්වාගෙන යාමට සටන් ශිල්පීන්ට සිදු විය. එමනිසා මෙය අප්‍රකට රහස් ශිල්පයක් බවට පත් විය. එපමණක් නොව, මෙම ශිල්පීය කුසලතා තවදුරටත් ආරක්ෂා කිරීම උදෙසා නර්තනය තුළට මෙම සටන් ශිලීපීය ක්‍රමවේදයන් බද්ධ කොට නර්තනාංග ලෙස පවත්වාගෙන එනු ලැබීය. එවාට උදාහරණ අදටත් නර්තනය තුළ දක්නට ලැබේ. වැදි නැටුම, සිංහ නැටුම, වලස් නැටුම, කොටි නැටුම වැනි නර්තන අංගවල අංගම්පොර සටන් ශීල්පීය ක්‍රමවේදයක් දක්නට ඇත.

වර්තමාන තත්ත්වය

දඩුමස්නාමානය හා අකාල සන්ධ්‍යා වැනි ටෙලි නිර්මාණ හරහා වර්තමාන සමාජය මෙම අප්‍රකට ශිල්පය පිළිබඳව පිබිදීමකට පත්වෙයි. මේ නිසාම වත්මන් සමාජයේ තරුණ තරුණියන් මෙම ශිල්පය හැදෑරීමට දැඩි උනන්දුවක් දැකවීමට පටන් ගනී. මෙහි ඇති වාණිජමය වාසි දායක තත්වය තේරුම් ගත් ඇතැම් වෙනත් සටන් ශිල්පයන් හැදෑරූ ගුරුවරුන් තම සටන් ශිල්පය (කලරි, චීන ඩි, කරාතේ වැනි) අංගම්පොර ලෙස ලෝකයාට පෙන්වමින් තැනින් තැත අංගම්පොර පාසල් බිහිවූ අතර ඇතැමුන් ක්‍රීඩා අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය ආදියේ තමන් පාරම්පරික අංගම්පොර ශිල්‍පියෙක් ලෙස ලියාපදිංචි වීමද සිදු කළේ ය.

මෙවැනි බො‍හෝ ව්‍යාජ අංගම්පොර ශිල්පීන් චීන වෙලෙන්දො හරහා ලැබුණ චීන ඩි සටන් කරුවන් වෙයි. බැලූ බැල්මට යම් යම් සමානකම් අංගම්පොර සටන් ශිල්පය හා පැවතුනද කඩුවක් හෙල්ලයක් භාවිතා කළ පමණින් අංගම්පොර යයි හදුන්වාදීම අතිශයින්ම ම්ලේච්ච හා නින්දිත කාර්යයකි. මේ නිසාම අද වන විට නිවැරදි අංගම් ශාස්ත්‍රය කුමක්දැයි හදුනාගැනීම ඉතාමත් අපහසු වී තිබේ. නිවැරදි සටන් ශිල්පීන්හට තම පරම්පරාවට ලැබුණ ගම්වර, ගරු නම්බුනාම, පාරම්පරික ඉතිහාසය, රාජාවලිය වැනි ඉතිහාස පො‍ත්‍පත්වල සාක්ෂි ආදිය තුළින් තම සටන් පෙළපතේ සත්‍යතාව පෙන්වීමට අද සිදු වී තිබේ