ඉපැරණි කොරතොට අංගම්පොර සම්ප්‍රදාය

ශ්‍රී ලාකාවේ අතීතයේ සටන් පරම්පරා කිහිපයක් පැවති අතර මේ වන විට ඒවා බහෝ දුරට අභාවයට ගොස් ඇති බවද නොරහසකි. ඉතිහා‍සයේ පටන් අප සටන් පරම්පරාව හැඳින්වූයේ කොරතොට ආරච්චි පරපුර ලෙස ය. අප සටන් කලාව කඩුවෙල කොරතොට ග්‍රාමය කේන්ද්‍ර කරගෙන ජීවත් වූ ප්‍රභල සටන් පරපුරකි.

කොරතොට ආරච්චි පරම්පරාව

අනුරාධපුරයේ ඉපැරණි අංගම් කැටයමක්

සිංහලයේ පැරණිතම සටන් පරම්පරාවක් ලෙස සාධක හමුවන අප සම්ප්‍රදායේ ඉතිහාසය පුරාණ යක්ෂ ගෝත්‍රික යුගය දක්වා දිව යයි. විශේෂයෙන්ම කොරතොට හා ඇඹුල්ගම විහාර ද්විත්වය අතර බිම්කඩ යක්ෂ ගෝත්‍රික සටන් ශිල්පීන්ට අයත් බව පැරණි සුන්දල පූර්ණිකා ග්‍රන්ථයේ සඳහන් වේ. ඊට අමතරව පණිත මහ රජුගේ කාලයේදී සුමන සමන් නම් පාලකයාගේ ප්‍රධාන සටන් මධ්‍යස්ථානය වූයේ කොරතොට බව පුරාණ කොරතොට කන්දේ සෙල්ලිපි වලින් සනාථ වේ. මෙම සෙල්ලිපි ක්‍රිස්තු පූර්ව යුගයට අයත් බව වත්මන් පුරාවිද්‍යාඥයින්ගේ පිළිගැනීමයි. පරුමුක නම් යක්ෂ ගෝත්‍රික නායකයන් ගැන කියවෙන මෙම සෙල්ලිපිය පරීක්ෂාවට ලක්කළ පුරාවිද්‍යාඥයින් පවසන්නේ විහාරමහා දේවියගේ අධීක්ෂණයෙන් වේලු සුමන විසින් සටන් පුහුණු කරන ලද සටන් පාසලක් කොරතොට ආශ්‍රිතව තිබූ බවයි. පරුමුක සුමන යනුවෙන් මෙම සෙල්ලිපියේ සඳහන් වන්නේ වේලුසුමන පිළිබඳ වන බවත් එසේම එහි සඳහන් වන මහඹි කුමරිය යනු විහාරමහා දේවිය බවත් පිළිගැණේ. ස්ටීවන් තුකෝරළ නම් කතුවරයාගේ "දශක හතක් ලෙයින් නැහැවුණු මුල්ලේරියාව" නම් පොතේ මෙම කරුණු පැහැදිලිව දක්වා ඇත. මෙයට අමතරව "ශිලා ලේඛන සංග්‍රහය" නම් පොතේ දී කොරතොට සෙල්ලිපිය ක්‍රි.පූ. යුගයට අයත් බව සඳහන් වේ. ඉහත සාහිත්‍යාත්මක හා පුරා විද්‍යාත්මක සාක්ෂි මතින් ඔප්පු වන කොරතොට ආශ්‍රිත භූමි භාගය ප්‍රාග් ‍ඓතිහාසික යුගයට අයත් බවට මනාව ප්‍රකට වේ.

කොරතොට බැලුම් ගල

මෙම ඉතිහාසයට තවදුරටත් සාක්ෂි සපයන්නේ වදුරුම්මුල්ල නැමති ග්‍රාම නාමයයි. රාම රාවණා යුද්ධයේදී වදුරු හමුදාවට වටකොට එනම් මුල්ලකට කොට පහර දීම නිසා වදුරුම්මුල්ල නම් නම ඇති වූ බව ජනප්‍රවාදයේ එයි. එසේම මුල්ලේරියා සටනේදී හැඩිදැඩි මිනිසුන් සොයා ගත් ප‍්‍රදේශය දැඩිගමුව ද රණ ප‍්‍රයාණයට ඇල්මක් දැක් වු මිනිසුන් සිටි ප‍්‍රදේශය රණාල ද රණ කෙළියට ප‍්‍රකට වු බැවින් කෙළිතොට පසුව කොරතොට ද යපස් හෙවත් හේකන් ගෙනා ප‍්‍රදේශය හේකන් + අද්දර හෝකන්දර වු බව ද කියැවේ.

හේවාගම් කොරලය කොරතොට ආරච්චිවරුන්ට
පවරාදුන් ඉරහඳ ගල

කොරතොට ආරච්චි නම් නම්බුනාමය සීතාවක යුගයේදී මායාදුන්නේ රජු විසින් අප මුතුන් මිත්තන්ට ලැබුණු අතර රාම රාවණා යුද්ධයට මුහුණ දුන් අප පරම්පරාව මෑත ඉතිහාසයයේ දී දැඩි ලෙස රාජකීය යුද්ධයකට සම්බන්ධ වන්නේ ටිකිරි කුමාරයා නොහොත් පළමුවන රාජසිංහ නම් රාසිං දෙවියන් විසින් දියත් කළ පෘතුගීසීන්ට එරෙහි මුල්ලේරියා මහා සංග්‍රාමයේදී ය. මෙයට අමතරව ලන්දේසි හා ඉංග්‍රීසි ආක්‍රමණ හමුවේ තම පාරම්පරික උරුමයන් නොනැසී පවත්වා ගැනීමට සමත් වූ අප මුතුන්මිත්තන් විසින් 1915 දී සිංහල මුස්ලිම් කෝලාහලයට සම්බන්ධ වෙමින් ජාතියට කළ සේවයට වන්දි ගෙවීමක් ලෙස සටන් ශිල්පීන් රාශියක් සිරභාරයට පත් වෙයි. පලිහේන ආරච්චි, රණවක ආරච්චි, කළු ආරච්චි, මල්ලව ආරච්චි ආදී සෙසු ආරච්චි පරම්පරා 18කින් යුක්ත වූ කොරතොට ආරච්චිවරුන්ගේ සටන් හැකියාව ඊළඟ පරම්පරාවට යාම මෙලෙස ජීවිතාන්තය දක්වා සටන් ශිල්පීන් සිරභාරයට ගැනීමත් සමඟ වැළැකුණු අතර කෙසේ වෙතත් හිරයෙන් පැන ආ මහන්තාරච්චි පරම්පරාවේ සාමාජිකයෙකුගේ බුද්ධිමත් ක්‍රියාපටිපාටිය නිසා අදටත් මහන්තාරච්චි පරම්පරාව සතුව පමණක් මෙම ශිල්පය ඉතිරිවීමට හේතු සාධක යෙදිණ.

කෙසේ වෙතත් මහන්තා යනු ප්‍රධාන පුහුණු කරු වන අතර මහන්තාරච්චි පරම්පරාව යනු කොරතොට ආරච්චිවරුන්ගේ ප්‍රධානියා බව පත්තිරු 60කින් යුත් "කොරතොට වත" නම් පුස්කොල ග්‍රන්ථයේ 21 වෙනි පත්තිරුව තුළ ඇති පහත සඳහනින් ඒ බව සනාථ වේ.

"පස්ස පොරොත්තුවේ ගෝවා පගන්දාරහේවා නම් පෙරමුණට හීතාවක පටරෙදි කොඩිය හා රීදී කස්තානය අතින් ගත් කො‍රතො ඉම මහන්තේ ආරච්චිල තෙන්නැහැ දෙවනුව රදී පටිස්තානය හා පලිස අතින් ගත් කොරතොඩ කුරුප්පු ආරච්චිල ද රණ දක්ෂ පලිහෙන ආරච්චිලද අතුරුගිරි දෙබාග කෝරලේ දුණු පලිස් වඩන්නෝද අස් මඩලේ ආරච්චිල ද පල්ලේ පත්තුවේ රණවක ආරච්චිල ද හෝකන්දර පන්න කාරයෝ ද රනාලේ පනික්කි ආරච්චිල ද...."

කෙසේ වෙතත් 1915න් පසුව ඉංග්‍රීසීන්ගේ උකුසු ඇස අප පරම්පරාවට යොමු වී තිබීම හේතුවෙන් හා ශේෂ වී ඇති එකම සටන් පරම්පරාව වූ අප පරම්පරාව සතු ශිල්පය ඉදිරියට පවත්වාගෙන යාමේ දැඩි අවශ්‍යතාවය නිසා කොරතොට බැලුම් ගලේ අප්‍රකට ගල්ලෙනක් තුළ පුහුණුවීම් සිදු කිරීමට අප පරම්පරාවේ මෑති කාලීන ප්‍රවීණයින්ට සිදු විය.

කඩුවෙල කොරතොට රනපිල කලායතනාධිපති,
අංගම් මුහන්දිරම්, ශ‍්‍රී රණ ශක්ති,
දේශීය සටන් කලා විශාරද, දේශාභිමානි
ලංකා පුත‍්‍ර, දේශ බන්දු, දේශමාන්‍ය,
ආචාර්ය අජන්ත මහන්තාරච්චි ගුරුතුමා

මේ අනුව ඉතාමත් අප්‍රකටව සිටි අප පරම්පරාව තමන්ගේ රහසිගත භාවය මැඩගෙන ඉදිරියට ඒමට සිදුවන්නේ මෑත කාලීනව දඬුබස්නාමානය වැනි නාට්‍ය නිර්මාණ හරහා ජනතාව මෙම ශිල්පය පිළිබඳ දැනුවත් වීමත්, එය වාසියක් කොටගත් චීනඩි, කලරි ආදී වෙනත් සටන් ක්‍රම හැදෑරෑ පුද්ගලයින් කිහිප පොලක් අංගම්පොර ශිල්පීන් ලෙස රාජ්‍ය ආයතන වල ලියාපදිංචි වෙමින් මෙම ශිල්පය විකෘති කිරීමත්, එයට විරුද්ධව යම් පියවරක් ගත යුතුබවට අප පරම්පරාවේ වත්මන් ශිල්පීන් විසින් ගනු ලැබූ තීරණයත් හේතුවෙනි. කෙසේ වෙතත් ඉලංගංමඩු සම්ප්‍රදාය නැවතත් ආරම්භ කරමින් අංගම් නමින් ඉදිරිපත් වූ වෙනත් සටන් ශිල්පීන්ට එරෙහිව පළමුවෙනි වෙඩිමුරය තබන්නේ අපයි. මේ අතර ප්‍රසිද්ධියේ අංගම් ශාස්ත්‍රය පුහුණු කරමින් පවත්‍වාගෙන යන එකම පරම්පරාවද අප ය.

අප සම්ප්‍රදයේ වත්මන් මොහන්දිරම් තුමා වන අජන්ත මහන්තාරච්චි ගුරුතුමන් විසින් වර්තමානයේ ගුරුකුලයට නායකත්වය ලබා දෙමින් අංගම් ශිල්පය නොනැසී මතු පරපුරට රැක දීමේ මහඟු කාර්යයට උරදී සිටින අතර එතුමන් තරුණයෙකු වුවද ඔහු හා දොඩමලු වන්නෙකුට හැඟී යන්නේ තමන් වයස අවුරැදු සියයක් වයසැති පැරණි සිංහලයෙකු හා කතාකරන්නාක් මෙනි. වයස අවුරුදු 6දී පමණ සිට මෙම ශාස්ත්‍රය තම සීයාගෙන් ඉගෙන ගත් එතුමා පූර්ණ වශයෙන්ම නිර්මාංශිකය. නැකැත් ශාස්ත්‍රය, හෙළ වෙදකම, දේහධර්ම විද්‍යාව වැනි අංගං ශාස්ත්‍රයට අදාල වන්නාවූ සියලු ශාස්ත්‍රයන්ගේ ප්‍රවීණයෙකු වන එතුමා තම පරපුර පණමෙන් රැකගෙන ආ ශිල්පය අනාගත පරපුරට රැකදීම සඳහා තම ජීවිත කාලයම කැප කරමින් සිටී. එය තමාගේ වගකීම මෙන්ම ඒ සඳහා දිවුරුම් දී ඇති එතුමා දැඩි දුෂ්කරතා මධ්‍යයේ වුවද දැනට නිවැරදි අංගං ශාස්ත්‍රය සාම්ප්‍රධායික පසුබිමක් තුළ ප්‍රසිද්ධියේ පවත්වාගෙන යන එකම පුද්ගලයා ද වෙයි.

» ශ්‍රී රාජසිංහ වර්ණනාව (පුස්කොල පොත)

පියස හිමි කොරතොට
අප්පු සාමි මනතුට
යසිනිදු සිරින් සිට
කියා වහසී මහත් විකුමට
වෙරසටනයෙහිදී
නොගෙන අවියක් ඔරැඳී
රුපු හට ගම වැදී
පෙන්නවම් වේවැලෙන් බැටදී